WORLD : බ්‍රිතාන්‍යයේ කෝබින්​ට ලේබර් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙයි…

51

මහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝබින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෙම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සිදුකර තිබෙන්නේ, ඔහු විසින් පසුගියදා යුදෙව්විරෝධවාදය (antisemitism) පිළිබඳ විමර්ශනයකට ප්‍රතිචාර දැක්වීමේදී තමන්ගේ ධුර කාලයේදී තමන් යුදෙව් ගැටළුව ‘‘අතිශයෝක්තියෙන්  පැමිණිලි කළ බව‘‘ ප්‍රකාශ කිරීමත් සමග ය. මෙසේ කළේ දේශපාලන හේතු නිසා බව ද ඔහු පැවසීය.

බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටි ලේබර් පක්ෂයේ යුදෙව්විරෝධීවාදය පිළිබඳ වාර්තාව, විශාල විමර්ශනයකින් පසුව නිකුත් කළේ  මහා බ්‍රිතාන්‍යයේ සාමානාත්මතාවය සහ මානව හිමිකම් පිළිබඳ කොමිසම ( Equality and Human Rights Commission (EHRC)) විසිනි.

ඒ අනුව එවකට කම්කරු පක්ෂයේ නායකත්වයේ ‘‘බරපතළ අසමත්වීම්‘‘ තිබූ බව ඔවුන් නිගමනය කර ඇත.

පක්ෂයේ යුදෙව්විරොධීවාදය පිළිබඳ විමර්ශනය කරමින් කොමිසම කීවේ ලේබර් පක්ෂය ‘හිංසාවේ නීතිවිරෝධී ක්‍රියාවන් සහ වෙනස්කොට සැලකීම්‘‘වලට වගකිව යුතු බව ය. එහිදී ක්ෂේත්‍ර තුනක නීති කඩවීම් නිරීක්ෂණය කෙරිණි.

එනම්,

  • යුදෙව්විරෝධීවාදී පැමිණිලි සඳහා දේශපාලන බලපෑම් සිදුකිරීම
  • යුදෙව්විරෝධීවාදී පැමිණිලි හසුරවන්නන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීමට අසමත් වීම
  • පැමිණිලි සිදුකළ අයට හිරිහැර කිරීම

ලිපිගොනු 70 ක් පිරික්සා බැලීමේදී එවැනි දේශපාලන මැදිහත් වීම් 23 ක් ගැන සොයාගැනීමට කොමිසම සමත් විය.

2010 සමානාත්මතා පනත ලේබර් පක්ෂය විසින් උල්ලංඝනය කර ඇති බව ද ඒ අනුව හෙළි විය.

මේ සමගම වත්මන් ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාමර් කසය අතට ගත්තේය.

දේශපාලන හේතු නිසා ඒවා අතිශයෝක්තියට නැගූ බව ජෙරමි කෝබින් විසින් පවසා පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් කෝබින්ව පක්ෂයෙන් නෙරපා හරින්නේ ඒ අනුව ය.

පසුගිය දෙසැම්බරයේ පක්ෂ නායකත්වයෙන් ජෙරමි කෝබින් ඉවත් වන්නේ මහමැතිවරණයේ පරාජයත් සමග ය. ‘‘මම ප්‍රශ්නයේ කොටසක් නෙවෙයි‘‘ යැයි ද ඔහු පැවසීය.

උග්‍ර යුදෙව් විරෝධියෙකු ලෙස සැලකෙන ජෙරමි කෝබින්, පලස්තීන ගැටළුව පිළිබඳ අති සංවේදී බව ද නොරහසකි. ඔහු ඊශ්‍රායලය සැලකුවේ පරම සතුරෙකු ලෙස ය. ඊශ්‍රායලය යනු යුදෙව් රාජ්‍යයකි. එ් අනුව අවසානයේ මේ කොමිෂන් සභා වාර්තාවෙන් තහවුරු වන්නේ ඔහු කොතරම් උග්‍ර යුදෙව් විරෝධයක් පක්ෂය තුළ පවත්වාගෙන ගොස් තිබේ ද යන්නයි.

මේ නෝර්ත් ආලිංටන් සාමාජිකයා ලේබර් පක්ෂයට බැඳෙන්නේ වයස අවුරුදු 16 දී ය. නමුත් පක්ෂය විසින් රටේ නීතිය කඩ කරමින් හැසිරී තිබෙන බව නිරීක්ෂණය වූ වහාම, එය පක්ෂ දේශපාලනය නිසා කළ බවට ඔහු වි සින්ම සාධාරණීකරණය කළ වහාම මුළු ජීවිතයම පක්ෂය වෙනුවෙන් කැප කළ සාමාජිකයෙකු වුවත් පක්ෂයෙන් නෙරපා හරින්නට පක්ෂ නායකත්වය දෙවරක් සිතුවේ නැත.