VIDEO : කෝටි හයක ලංසුවක​ට IPL පිටියට කඩා වැදුනු වීථි වෙලෙන්​දා

208

වාසනාව යනු කවදා කොතැනක දී අප කරා පැමිණේද යන්න කිසිවෙකුටත් පුරෝකථනය කළ නොහැකිය.

මේ දින වල වැඩිපුරම කතාබහට ලක්වෙන ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවළිය තුළද ක්‍රීඩකයින් වාසනාව උදාකරගත් අවස්තා රැසක් පැවතියත් මේ කථාව ඊට හාත්පසින්ම වෙනස් වාසනාවන්තයකු පිළිබදවය.

අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර එකතු වූ නවක තරුවක් වන යෂාස්වි ජායිස්වාල්ද තරඟාවලියට එක්වන්නේ දෛවයේ හාස්කමකට මෙනි.

වීථි වෙළෙන්දෙකු ලෙසින් සිය ජීවිතය ආරම්භ කළ ජායිස්වාල් රාජස්ථාන් රෝයල්ස් ” කණ්ඩායමට ඩොලර් 327,000ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 06ක දැවැන්ත මුදලකට මිලදී ගැනීමට තරම් වාසනාවන්ත විය.

18 හැවිරිදි වියේ පසුවන යෂස්වි වයස අවුරුදු 03ක් තරම් කුඩා කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබීය.

කුඩා කල සිට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අදහස පැවතියද තමා ගෙවන කටුක ජීවිතය තුළ ඊට අවස්ථාවක් හිමිවේදැයි වන සැකයෙන් පසුවීම හිසට නිසි සෙවනක් වත් නොමැතිව ඉන්දියාවේ දිවි ගෙවන ඔහු වැනි උන්ට සිහිනයක්ව පැවතිණ.

කුඩා තීන්ත බඩු සාප්පුවකින් දිවි රැකගත් ඔහුගේ පියා බුපේන්ද්‍රට, සිය පුතුගේ ක්‍රිකට් සිහිනය වෙනුවෙන් ලබාදීම සඳහා මුදල් තිබුණේ නැත.

ඒ නිසාම කුඩා යෂස්වි සිය මාමාගේ කිරි කඩයක සේවය කරමින් ප්‍රසිද්ධ භූමියක සිය ක්‍රිකට් පුහුණුවීම් කළේය. නමුත් එතැනින්ද ඔහුට ඉවත් වීමට සිදු විය.

නමුත් පුහුණුකරුගේ මගපෙන්වීම මත ක්‍රීඩා පිටියක් ආසන්නයේ පිහිටි කුඩා ඉටිරෙදි නිවහනක් ඔහුට හිමිවිණ.

අවස්ථා කිහිපයකදී පවුලේ සාමාජිකයින්ගේ ඉල්ලීම මත ඔහු ගමට පැමිණියත් ඔවුන් සමග ජීවත් වීම ඔවුන්ටම බරක් බව වටහාගෙන තිබිණ.

ඒ හේතුවෙන් යෂස්වි විථියේ ආහාර විකුණන්නෙකු බවට පත්වූ අතර, ඔහුගේ ඉරණම වෙනස් කරන තුරු පුරා වසර 03ක්ම ඔහුගේ රැකියාව වූයේ විථියේ ආහාර විකිණීමයි.

2013 වර්ෂයේදී එවකට 12වැනි වියේ පසුවූ යෂස්වි පුහුණුවීම් කටයුතු සිදුකරන අයුරු ඉන්දියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ ජ්වාලා සිං නරඹමින් සිටි අතර, යෂස්වි සතු වූ අසාමාන්‍ය හැකියාව ඔහු හඳුනාගත්තේ එහිදීය.

පසුව යෂස්වි සිය ඇකඩමියට බඳවා ගත් ජ්වාලා සිං ඔහුව සිය නිවසේ නතර කර ගැනීමට තරම් කාරුණික විය.

ඔහු​ගේ ගුරුහරුකම් යටතේ තවදුරටත් දක්ෂතා ඔප මට්ටම් කරගත් යෂස්වි 2015 වර්ෂයේදී මුම්බායිහි පැවැති අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියකදී විශිෂ්ට තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය.

එහිදී ත්‍රිත්ව ශතකයක්ද සමඟින් යෂස්වි කඩුලු 13ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ජ්වාලා සිං ඔහුව ඉන්දියානු හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වසීම් ජෆාර්ට හඳුන්වාදීමට ක්‍රියා කළේය. එය යෂස්වි ඉන්දියානු 19න් පහළ කණ්ඩායම දක්වාම තේරී පත්වීමට උපකාරී විය.

පසුගිය 2019 වර්ෂයේදී සිය මංගල පන්දුවාර 50 තරඟාවලියට ක්‍රීඩා කිරීමට යෂස්විට අවස්ථාවක් ලැබුණේ මුම්බායිහි පැවැති අන්තර් සමාජ ක‍්‍රිකට් තරඟාවලියක් වෙනුවෙනි. එවකට 17 හැවිරිදි වියේ පසුවූ යෂස්වී එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 154කදී ලකුණු 203ක් රැස් කළේ පළමු පෙළ එක්දින තරඟයකදී ද්විත්ව ශතකයක් රැස්කළ ළාබාලම ඉන්දීය පිතිකරුවා බවට පත්වෙමිනි.

එය මෙවර අයි.පී.එල්. තරඟාවලියේදී යෂස්වි පිළිබඳ අවධානය තවදුරටත් වැඩි කිරීමට හේතුව විය. කෙසේ වෙතත් රාජස්ථාන් බලධාරීන් යෂස්වි පිළිබඳ ඇස ගසාගෙන සිටියේ වසර තුනක පමණ කාලයක සිටය.

අද මේ වීථි වෙළෙන්දා ක්‍රිකට් පිටිය දෙවනත් කරන අයුරු මුලු ලෝකයම බලා සිටින්නේය…..!!!