මට විශේෂ ගුවන් යානයක් එවන්න – ඕස්ට්රේලියානු ක්‍රීඩකයෙක් ඉල්ලයි – IPL අර්බුධය තවත් අවුලෙන් අවුලට යන ලකුණු

171

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය (IPL) තවදුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

ඉන්දියාව පුරා දරුණු ආකාරයට ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්වය හමුවේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සිය ක්‍රීඩකයන්ව මව් රටවල් වෙත කැඳවීමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.

IPL තරගාවලියට සහභාගීවන වැඩිම විදේශ ක්‍රීඩකයන් පිරිසක් නියෝජනය කරන්නේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය වන අතර මේ වන විට ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම් ඉන්දියාව වෙත සිය ගුවන් ගමන් මේ වන විට නවතා දමා තිබෙනවා.

ඕස්ටේලියානු ක්‍රීඩකයන් වන ඇඩම් සම්පා, කේන් රිචඩ්සන් හා ඇන්ර්ඩ්‍රෑ තයි යන ක්‍රීඩකයන් මේ වන විටත් තරගාවලියෙන් ඉවත්ව ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙන්නේ ගුවන් ගමන් නතර වේ යැයි යන සැකය මුල්කොටගෙනයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ලින් ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයෙන් ඉල්ලා තිබෙන්නේ විශේෂ වාණිජ ගුවන් යානයක් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ව මව් රටට ගෙන්වා ගැනීම සඳහා සූදානම් කරන ලෙසයි.

මේ වන විටත් එළඹෙන මැයි මස 15 වනදා දක්වා ඉන්දියාව සමග ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පියවර ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රශ්න කරන්නේ මෙවන් බරපතළ ව්‍යසනයකට ඉන්දියාව මුහුණ දී තිබෙන අවස්ථාවේ IPL ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීම සදාචාරාත්මකද යන්නයි.

තරඟ 60 කින් සමන්විත IPL තරගාවලියේ මේ වන විට පවත්වා ඇත්තේ තරග 21 ක් පමණි.