දෙවන එලිසබෙත් රැජිනට සමුදී පිලිප් කුමරු අද නික්ම යයි

72

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරර් ආදිපාද පිලිප් කුමරුන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

බකිංහැම් මාළිගය නිවේදනය කළේ අද (17) පස්වරු 3.00 ට වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වීමට නියමිත බවයි.

එම අවස්ථාවේදී විනාඩියක ජාතික නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද නියමිතයි.

මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිත අතර, රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී වනු ඇති.

පිලිප් කුමරුන් අභාවප්‍රාප්ත වූයේ පසුගිය 09 වනදායි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 99 ක්.

1921 වසරේ ජුනි 10 වැනිදා උපත ලැබූ පිලිප් කුමරුන් 1947 වසරේදී එළිසබෙත් රැජිණ සමග විවාහ වීමත් සමග එඩින්බරර් ආදිපාදවරයා බවට පත්වුණා.

මේ අතර අවමංගල්‍ය උත්සවයට හැරී කුමරුන් සහභාගී වන අතර සිය දෙවන දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් අවමංගල්‍ය ඊට සහභාගී නොවනු ඇති.

එමෙන්ම කොරෝනා සීමා හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බවයි දන්වා ඇත්තේ.