ගම සමග පිළිසඳරට ජනාධිපති කාර්ය සාධක බළකායක්

43

ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා.

ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ලෙසයි එය නම් කර ඇත්තේ.

ගම සමග පිළිසඳර වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම සහ ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම මෙන්ම පසු විපරම පිණිස මෙම කාර්යය සාධක බළකාය පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 15 දෙනෙකු ඇතුලත්.

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලූම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරෙනවා.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.