ජනපතිගෙන් රංජන්ට ජනපති සමාව ලැබෙන ලකුණු – ජනපතිගේ ලියුමට රංජන් අත්සන් තබන්නත් තීරණය කරයි?

326

රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් වෙමින් තිබෙන බව වාර්තා වනවා.

ජනපති සමාව යම් පුද්ගලයකුට අවශ්‍ය නම් ඒ ඉල්ලීම සිර දඬුවම් විඳින්න හෝ ඔහුගේ ළඟම ඥාතියෙකු කළ යුතු අතර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම කටයුත්ත ඔහු විසින්ම සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව තමාට නිදහස ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට රන්ජන් රාමනායක මහතා එකඟතාවය පළ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වූ ලිපි ලේඛන සමගි ජන බලවේගයේ නීතිඥවරුන් විසින් මේ වන විට සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි ඊළඟ පියවර වන්නේ ඒ සඳහා රන්ජන් රාමනායක මහතාගේ අත්සන තැබීමයි.

දැනගන්නට තිබෙන ආකාරයට අදාළ ලිපිය ජනපතිවරයා වෙත යොමු කිරීම සඳහා හිස් කොළයක අත්සන් තබා එවන ලෙස රන්ජන් රාමනායක මහතාට සමගි ජන බලවේගයේ වගකිවයුතු පිරිස් දන්වා ඇති මුත් එම ඉල්ලීම රාමනායක මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවයි වාර්තා වන්නේ.

හිස් කොලයකට අත්සන් ගෙන රන්ජන් රාමනායක මහතාගේ ලියාගන්නට බූදලයක් නැති බව රන්ජන් රාමනායක මහතාගේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ඇතැම් සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මෙන්ම සමගි ජන බලවේගය නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන් රන්ජන් රාමනායක මහතා සිර සිරදඬුවම් විඳිමින් සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ජනපති සමාව අයැදීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ එකඟතාවය ලබා ගෙන ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.

ඉන්පසුව සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් අප්‍රේල් 14 වැනි දින සිංහල – හින්දු අලුත් අවුරුද්දට සුභ පැතීමට ජනපතිට දුරකථනයෙන් කතා කළ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ එය නීත්‍යානුකූලව කළ යුතු බවත් එහි ප්‍රථම පියවර ලෙස සිර දඬුවම් විදින්නාගෙන් තමන්ට නිදහස අවශ්‍ය බවට ලිඛිතව ඉල්ලීමක් අවශ්‍ය බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතා මේ වන විට වසර 4 ක සිර දඬුවමක් විදිමින් සිටින අතර ඔහුගේ මන්ත්‍රි ධුරයද මීට ටික දිනකට පෙර අහෝසි විය.