රංජන්ගේ අසුන අහෝසි කළාට විපක්ෂය පාර්ලිමේන්තුවෙදී විරෝධය දක්වයි – පුරප්පාඩු අසුන අජිත් මාන්නප්පෙරුමට

48

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා.

අද (07) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය සභාවට දැනුම් දුන්නා.

කථානායකවරයා පැවසුවේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ බව දැනුම් දුන් බවයි.

පසුගිය වසරේ අගෝස්තු 05 වනදා පැවති මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 04 ක්.

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වීමත් සමග එම අසුන සඳහා මීලගට සුදුසුකම් ලබන්නේ මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානය දිනාගත් හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතායි.

ඔහු ලබාගෙන තිබූ මනාප ඡන්ද සංඛ්‍යාව 47212 ක්.

කෙසේ වෙතත් අජිත් මාන්නප්පෙරුම මහතා කියාසිටියේ සිය නම මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්දීමට සූදානම් බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ දිවා විවේකයට පෙර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය දැක්වීමත් සමඟයි.

මන්ත්‍රීවරුන්ගේ පැමිණීමත් සමඟ පාර්ලිමේන්තු නිලධාරීන් සෙංකෝලයේ ආරක්‍ෂාව සදහා ඒ අසලට පැමිණියා.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිරගතව සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කළා.

විරෝධතාව දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළේ කතානායකවරයා තමනට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදෙන බවයි.