ෆිට්නස් නැති ක්‍රීඩකයන් දෙදෙනෙක් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට හොර පාරෙන් පත් කරලලු?

143

ශ්‍රී ලංකා ක්‍රිකට් හට තේරීම් කමිටුවක් පත්කර නොතිබියදී එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයක් නම් කිරීම සම්බන්ධයෙන් මේවන විට ගැටලු මතුව තිබෙනවා.

මෙසේ නම් කළ අය අතර පසුගියදා පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් ද සිටීම විශේෂ සිද්ධියකි.

ඒ ධනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ යන දෙදෙනායි.

මීට පෙර ක්‍රිකට් ආයතන ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ ක්‍රීඩකයන් 4 දෙනාට යළි ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටිය හැක්කේ දින 40කට පසුව බව කියා තිබුණද ඔවුන් දෙදෙනාට ඊයේ (15) ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකර ඔවුන් සංචිතයට එක්කර තිබෙනවා.

ඔවුන් එසේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිට ඇත්තේ දින 4කට පසුවයි.

ක්‍රිකට් විචාරකයන් පෙන්වාදෙන්නේ තේරීම් කමිටුව නම් කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දිනෙන් දින කල් දමමින් සිටියදී, කොදෙව් සංචාරය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 36 දෙනාගෙන් සමන්විත සමස්ත සංචිතයම හොර පාරකින් පත්කර ඇති අය බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම ප්‍රමාද වෙමින් ඇත්තේ ඒ සඳහා යෝජනාවී ඇති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (සභාපති), රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන අය ඒ සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ජාතික ක්‍රීඩා කමිටුවේ ඇතැම් සාමාජිකයන් බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ ගැටලුව මතු කිරීමට මුලික වී ඇත්තේ ක්‍රිකට් ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධතා ඇති, දේශපාලනයටද සම්බන්ධ පවුලක සාමාජිකයන් කීපදෙනෙකු, ව්‍යාපාරිකයෙකු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙකු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

මෙම ව්‍යාපාරිකයා බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාර සිදු කරන ප්‍රබල ව්‍යාපාරිකයෙක් බවයි සඳහන් වන්නේ.

එසේම දැනට පුහුණුකරු තනතුරක් දරන හිටපු නායකයකුද මේ පිරිස සමග සම්බන්ධවී සිටින අතර මෙම පිරිස අදාළ තේරීම් කමිටුව පත් නොකරන්නට දේශපාලන බල අධිකාරියට හා විවිධ පාර්ශව වෙත පසුගිය කාලයේ දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙර තිබු ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටි සාමාජිකයකු හරහා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් වලට ඍජු බලපෑමක් සිදු කිරීමට මොවුන් කටයුතු කර තිබු බවත්, නව තේරීම් කමිටුවේ ඔවුන්ට බලපෑම් කල හැකි පුද්ගලයකු නොමැතිවීම මේ පිරිසට ඇති ප්‍රධාන ගැටලුව බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.