ශ්‍රී ලංකාව නව ජාත්‍යන්තර ක්‍රියාවලියක් ආරම්භ කල යුතුයි – ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්

47

වගවීම සහ සත්‍ය සෙවීමේ සැබෑ වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව මෙතෙක් යොමුවී නොමැති බවට ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය චෝදනා කරනවා.

යුද්ධය අවසන්වී වසර 12 ක් ගතව ගියද ප්‍රතිසන්ධානය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බවයි ඇය සඳහන් කළේ.

ගතවූ වසරක කාලය සැළකිමේදී අංශ රැසකින් විවිධ හිංසන වාර්තාවී ඇති බවයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කියාසිටියේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් එල්ලවී ඇති බවද ඇය මෙහිදී කියාසිටියා.

විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයන් රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම, කොවිඩ් මරණ බලහත්කාරයෙන් ආදාහනය වැනි දෑ සම්බන්ධයෙන්ද මිෂෙල් බැෂ්ලේ මහත්මිය සිය වාර්තාව මගින් අප්‍රසාදය පළකලා.

දේශීය වගවීමේ ක්‍රියාවලියකට රජය විසින් දොරටු වසා තිබීම කිසිසේත් අනුමත කල නොහැකි බවද මහ කොමසාරිස්වරිය අවධාරණය කලා.

මෙම සියලු කරුණු සළකා බලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව ජාත්‍යන්තර ක්‍රියාවලියක් ආරම්භ කල යුතු බවයි ඇයගේ ස්ථාවරය වී ඇත්තේ.

වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා සිය කාර්යාලය නිරතුරුව සහයවීමට සූදානම් බවද රටේ මානව හිමිකම් තත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවද ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කියාසිටියා.