කොරෝනා මරණ භූමදානයට ළඟදීම රජයේ අවසර ලැබෙන ලකුණු

113

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසරයක් නොමැතිවීම ගැන සමාජයේ ඇති වුණු කතා බහ හා ඇතැම් පක්‍ෂ නායකයන්ගෙන්ද ඒ සඳහා ලැබී තිබුණු ඉල්ලීම් පිළිබඳවද අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවල නායකයන්ගේ රැස්වීමක් පෙබරවාරි 05 වැනිදා පස්වරු 3.30ට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එම රැස්වීමේදී කරුණු පැහැදිලි කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර තිබුණේ සෞඛ්‍ය අංශවල අවසන් නිර්දේශය ලැබෙනතුරු ඒ පිළිබඳව තීරණයක් ගත නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නයේද විරෝධයක් මතුව ඇතැයි පක්‍ෂ නායකයන් විසින් පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් මළ සිරුරු භූමදානය ගැන සැක මුසු අවධානයෙන් සිටින මහ සඟරුවන සමඟ සාකච්ඡා කිරීමටද අගමැතිවරයා පක්‍ෂ නායකයන් සමඟ එකඟතාවකට පැමිණ තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊට පසුදිනම එනම් පෙබරවාරි 10 වැනිදා පස්වරු 5.00ට අරලියගහ මන්දිරයේදී මහා සංඝරත්නය සමඟ සාකච්ඡාව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ඡාව අවසානයේදී මහ සංඝරත්නය සඳහන් කර තිබුණේ සෞඛ්‍ය අංශවල නිර්දේශය ලැබෙන්නේ නම් දේහයන් භූමදානය කිරීම ගැටලුසහගත නොවන බවය.

එම රැස්වීමට ඕමාරේ කස්සප, නැදගමුවේ විජය මෛත්‍රි අනුනාහිමිවරුන් සමඟ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, මහාචාර්ය ඉත්තෑදෙමලියේ ඉන්ද්‍රසාර, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ආචාර්ය කිරින්දේ අස්සජි, මුරුත්තෙට්ටුවේ ආනන්ද, දිවියගහ යසස්සි, ඇල්ලේ ගුණවංශ, බළන්ගොඩ සෝභිත, බෙංගමුවේ නාලක, අක්මීමන දයාරතන සහ මැ¾ඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරු එම රැස්වීමට එක්වී තිබේ.

ඉන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරු සෞඛ්‍ය බලධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක නිරත වෙමින් මෙම හේතුවට අදාළ සෞඛ්‍ය විද්වත් කමිටුවේ නිර්දේශ කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස එම බලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි.

ඒ අනුව කොවිඩ් – 19 ආසාදිතව මරණයට පත්වන සිංහල – බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි – කතෝලික, දෙමළ, හින්දු – ක්‍රිස්තියානි කතෝලික හා මුස්ලිම් ජනයාගේ දේහයන් භූමදානය කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ සෞඛ්‍ය විද්වත් කමිටුවේ අවසන් නිර්දේශය අද හෙටම ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මව්බිම පුවත්පත