කොරෝනා මරණ භුමදානයට අවසර ලැබේ

63

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබෙනවා.

ඒ සඳහා වන ගැසට් පත්‍රය ඊයේ (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත මෙම අවසරය හිමිව ඇති අතර තාක්ෂණික කමිටුව කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර ඇති අතර භූමදානය කිරීමේදී ප්‍රදේශයේ ජල මට්ටම සැලකිල්ලට ගැනීමද අනිවාර්ය බවයි අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ.

පසුගිය කාලය පුරාම කොවිඩ් වැලඳීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ, මුස්ලිම් සංවිධාන දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා.

සෞඛ්‍ය ඇමැතිවරිය විසින්ම අප්‍රේල් මස 11 වැනි දින නිකුත් කරන ලද කොවිඩ් මළ සිරුරු ආදාහනය පමණක් සිදුකිරීම අනිවාර්ය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඒ අනුව මෙම තීරණත් සමඟ අවලංගු වනවා.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කර තිබුණු අතර ඉන් පසු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාද පාකිස්තාන අගමැතිවරයා සමග මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.