ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු තොගය ශ්‍රී ලංකාවට ළඟා වෙයි

42

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත් 15,000 ක තොගයක් අද (04) අලුයම දිවයිනට රැගෙන ආ බව ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

අලුයම 1.15 ට දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 1668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන විත් ඇති බවයි වාර්තාවන්නේ.

මෙම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කිහිපයකින් ඔවුන්ගේ ගබඩා වෙත රැගෙන යාමට නියමිතයි.

මෙම එන්නත් වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට ලබාදීමට පියවර ගන්නා බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනයේ 23,135 දෙනෙකුට ලබාදී ඇති අතර, ඒ අනුව මේ වනවිට එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 17,571 ක්.

මේ අතර කොරෝනා වෙරසය මැඩපැවැත්වීම සඳහා මෙරටට ගෙන එන ලද කොවිෂීල්ඩ් දෙවන මාත්‍රා එන්නත් 54 ක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ නිසියාකාරව ගබඩා කර නොමැති බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් අදාළ එන්නත් යළි භාවිතයට ගත හැකිද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා ඒවා පරීක්ෂණ සඳහා යොමුකළ බවයි මඩකලපුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.