COVID 19 : පෑලියගොඩින් මාලු ගත් STF 10 කට කොවිඩ්….

67

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබේ.

එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත.

අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම පුද්ගලයාගේ වඩේ වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය විෂබීජහරණයට ලක්කිරීමට ඇළහැර ප්‍රාදේශීය සභාව හා ඇළහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද (26) උදෑසන කටයුතු කළේය.

එම ආසාදිත පුද්ගලයා පසුගිය දිනක ඉස්සන් ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට පැමිණි අයෙක් බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඒ අවට නිවාස 10ක පුද්ගයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බව ඇළහැර ප්‍රාදේශිය සභා සභාපති නලීන් ජානක කුමාර මහතා පැවසීය.