BUSINESS : කොළඹ වරායේ දෛනික කටයුතු අඩාලයි..

43

කොවිඩ් වෛරසය පැතිර යාම හේතුවෙන් මේ වනවිට කොළඹ වරායේ දෛනික කටයුතු සැළකිය යුතු ප්‍රමාණයකින් අඩාල වී ඇති බව වාර්තා වේ. වරාය වෙත පැමිණෙන නෞකාවල බහාලුම් ගොඩබෑමේ කටයුතුවල දැඩි ප්‍රමාදයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය හේතුවෙන් වරාය වෙත පැමිණෙන නෞකා 25 ක් පමණ වරායෙන් පිටත නැංගුරම් ලා තිබෙන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

කෙසේ වෙතත් වරාය සභාපති දයා රත්නායක මහතා පවසන්නේ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති නෞකා ප්‍රමාණය 14 ක් පමණක් වන බවයි. එම නෞකාවල ඇති බහාලුම් ගොඩබෑමේ යම් ප්‍රමාදයක් තිබෙන බවත්, එම ප්‍රමාදය හැකිතරම් අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් සභාපතිවරයා පවසනවා.

කොළඹ වරායේ සේවය කරන සේවකයන් බහුරතයක් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බව පෙන්වා දෙන දයා රත්නායක මහතා පවසන්නේ එම සේවකයන් සැළකිය යුතු ප්‍රමාණයක් වෛරසය ආසාදනය වී හෝ නිරෝධායනයට යොමු කර හෝ ඇති බවයි.

මෙම තත්වය හමුවේ විශ්‍රාමික වරාය සේවකයන් නැවත සේවයට කැඳවීමට තීරණය කර ඇති අතර මීට අමතරව බාහිර ආයතනවලින් සුදුසුකම් ලත් සේවකයන්ගේ සේවය ලබා ගැනීමටද තීරණය කර ඇති බව දයා රත්නායක මහතා පවසනවා.