කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයෙක් අත්අඩංගුවට

37

රුපියල් මිලියන 300 කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්දුනීසියානු කරුංකා තොගයක් මෙරට නිෂ්පාදිත කරුංකා ලෙස ප්‍රතිඅපනයන කිරීම සදහා ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරිවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිලධාරිවරයා අත්අඩංගුව ගැනීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහමනම් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරු වාද්දුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය මඟින් දැනට මාස කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබු බවයි.

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට පවසමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීමක් සම්බන්ධයෙන් අනාවරණය වී තිබුණු බවත් එහිදී එම ලේඛන රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අදාළව සිදුකර තිබු බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එම විමර්ශනය 2020 වසරේ අගෝස්තු මස සිට ඔක්තෝබර් දක්වා වු කාලය තුළ සිදුකර ඇති අතර එහිදී රුපියල් මිලියන 300ක් වටිනා කරුංකා කන්ටේනර් 23 සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව එම ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයා ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ වන විට අදාළ නිලධාරියාගේ වැඩ තහනම් ලක්ව ඇති අතර ඔහුට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.