ලලිත්ට ශොට් එක දෙන්න ගිය පිබීට ඇපත් නැති වෙන ලකුණු

546

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාව එම තනතුරින් ඉවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා දැඩි ප්‍රයත්නයක නිරත වී සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ජයසුන්දර මහතා මෑතකදී තමන්ට හිතවත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවී ප්‍රකාශ කර ඇත්තේ ලලිත් වීරතුංග වැනි අධිකරණයෙන් දඬුවම් ලැබූ අපරාධකරුවෙකු ( convicted criminal) ජනාධිපති කාර්යාලයෙහි ප්‍රධාන තනතුරක් දැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපයට ඉතාම හානිකර බැවින් හැකි ඉක්මනින් ඔහුව එතැනින් ඉවත් කළයුතු බවකි.

ඒ සඳහා වීරතුංග මහතාව ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් ලෙස පත්කර යැවීමට ද ඔහු දැඩි උත්සාහයක් දරා ඇති නමුත් එය සාර්ථක වී නැත.

මෙම යෝජනාව වීරතුංග මහතා ඉතාම නිහතමානීව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

වීරතුංග මහතාව ජනාධිපති කාර්යාලයෙන් ඉවත් කිරීමට පී.බී. ජයසුන්දර මහතාට මෙතරම් තදින් වුවමනා වී ඇත්තේ එම කාර්යාලය තුළ සිය පූර්ණ ආධිපත්‍යය පැතිරවීම සඳහා වීරතුංග මහතා බාධාවක් බවට පී.බී. ජයසුන්දර මහතා විසින් හඳුනාගැනීම නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඇත්තෙන්ම ජනාධිපති කාර්යාලයෙන් ඉටුකර ගතයුතු සේවාවන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයත්, කැබිනට් ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකුත් සෘජුවම සම්බන්ධ වන්නේ ලලිත් වීරතුංග මහතා සමඟය.

ඒ, ලලිත් වීරතුංග මහතා ඉතාම පිරිසිදුව, නිරවුල්ව එම රාජකාරි කටයුතු ඉටුකර දෙන නිසාය. එහෙත් පී.බී. ජයසුන්දර මහතා මෙම තත්වය තමන්ට තර්ජනයක් වශයෙන් තේරුම්ගෙන සිටින බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ලලිත් වීරතුංග මහතා අධිකරණයෙන් දඬුවම් ලැබුවේ 2015 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සමගාමීව රජයේ මුදල් වැයකර සිල් රෙදි බෙදාදීම නිසාය. එය ඔහු මහින්ද රාජපක්ෂ මහතාට ඇති පක්ෂපාතීත්වය නිසා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කළ දෙයක් මිස පුද්ගලිකව තමන්ට වාසි ලැබීම සඳහා කළ දෙයක් නොවේ.

මෙහිදී මහජන මුදල් අවභාවිතයක් සිදුව ඇතත් ලලිත් වීරතුංග මහතා ඉන් පුද්ගලිකව ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව නඩු තීන්දුවේ පවා සටහන්ව තිබිණි.

ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුට එරෙහිව කිසිදු දූෂණ, වංචා චෝදනාවක් එල්ල වූයේ ද නැත.

එහෙත් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් නම් තත්වය වෙනස් ය. ලලිත්ට චෝදනා කරන අතරේ ජයසුන්දර මහතාත් අධිකරණයෙන් දඬුවම් ලැබූ අපරාධකරුවෙකි.

ලංකා මැරයින් සර්විසස් සමාගමේ කොටස්වලින් 90%ක් ජෝන් කීල්ස් සමාගමට පැවරීම සහ කැබිනට් අනුමැතියකින් හෝ තක්සේරුවකින් තොරව බ්ලූමැන්ඩල් පෙදෙසේ ඉඩමක් එම සමාගමට පවරාදීම පිළිබඳව වාසුදේව නානායක්කාර මහතා විසින් පැවරූ නඩුවෙන් 2008 වසරේදී වැරදිකරු බවට පත්වූ පී.බී. ජයසුන්දර මහතාට දඩයක් මෙන්ම ඉන් ඉදිරියට රජයේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට ද නියම කෙරිණි.

ඒ අනුව පී.බී., ලලිත් වීරතුංගට එක් ඇඟිල්ලක් දිගු කරන විට අනෙක් ඇඟිලි හතරම එල්ල වී ඇත්තේ ඔහුගේම දෙසටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිටින්නේ මධ්‍යස්ථ ස්ථාවරයක නිසා පී.බී. ජයසුන්දර මහතා උත්සාහ දරා තිබුණේ පහළින් සිටින තමන්ට හිතවත් පිරිසක් අල්ලාගෙන ලලිත් එළවීමේ සටන ක්‍රියාත්මක කිරීමටය.

එහෙත් සියලුම මාධ්‍ය සහායත් ලලිත් වීරතුංග මහතාටම හිමිව ඇති තත්වයක් තුළ පී.බී.ගේ අපේක්ෂා දැනට ව්‍යර්ථ වී ඇති බව සඳහන්.