ලන්දේසීන් පැහැරගෙන ගිය පුරාවස්තු ආපසු දීමට නෙදර්ලන්තය එකඟ වෙයි

203

ලන්දේසීන් මෙරට පාලනය කළ කාලය තුළ මෙරටින් ගෙන ගිය මිල කළ නොහැකි පුරාවස්තු ආපසු ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් හපුකොටුව මහතා පවසයි.

ඔවුන් මෙරට පාලනය කළ 1658 සිට 1796 දක්වා වූ කාලය තුළ බලහත්කාරයෙන් පැහැරගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කස්තාන කඩුව, ඇත්දළවලින් නිමකළ කැටයම්, ඇහැලේපොළ නිලමේ සතුව තිබූ කාලතුවක්කුවක්, තාරාදේවි ප්‍රතිමාව ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ලෝකඩ ප්‍රතිමා රැසක් රන් රිදී මුතු මැණික් සහිත විවිධ පුරාවස්තු විශාල සංඛ්‍යාවක් මේ වන විට නෙදර්ලන්තයේ ටෝපන් රිබිස් හා ලෙඩි කෞතුකාගාරයන්හි තැන්පත් කර ඇතැයි මහාචාර්වරයා පෙන්වා දෙයි.

මෙම පුරාවස්තු සම්භාරය නැවත මෙරටට ලබාදෙන ලෙස මෙතෙක් පැවැති රජයයන් නෙදර්ලන්ත රජයෙන් කරන ලද ඉල්ලීම් පදනම්ව ඒ පිළිබඳව එම රජය පත් කළ රාජ්‍ය උපදේශක සභාව මෙම කෞතුක පුරාවස්තු ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටින්නේ නම් ඒවායේ අයිතිය තහවුරු කිරීමෙන් පසු ඒවා ආපසු ශ්‍රී ලංකාවට ලබා දීම යෝග්‍ය බව පසුගිය දා භාරදුන් වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි මහාචාර්ය කපුකොටුව පවසයි.

මේ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී එම පුරාවස්තු ආපසු ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවශ්‍යතාව මහාචාර්යවරයා අවධාරණය කරයි.

කුමුදු ජයවර්ධන