රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයෙක්ටත් කොරෝනා වැළඳේ

149

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොවිඩ්-19 වැළඳී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අදාළ පුද්ගලයා නාවලපිටිය, උලපනේ, උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මෙම මස 23 වන දා නිවාඩු ලබා තම නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා නිවසට පැමිණෙන අතරතුර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් නිවසට රැගෙන යාමට මාළු මිල දී ගෙන තිබෙනවා.

පසුගිය 27 වනදා රාත්‍රී නිකුත් වූ PCR වාර්තාවට අනුව ඔහු කොරෝනා ආසාදිතයකු බව සනාථ වූ බවයි උලපනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මවත් පියාත් පමණක් එම නිවසේ ජීවත් වන අත‍ර ඔවුන් දැනට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙට දින ඔවුන් දෙදෙනාගේ PCR සාම්පල ලබා ගැනීමට නියමිත අතර ආසාදිතයා මේ වන විට ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ කාර්යාලයේ ආශ්‍රිතයින් ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.