බැසිල් රට හැර යාමට තීරණය කරයි

4287

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මතවාදී ගැටුමක් නිසා දැඩි කලකිරීමට පත්ව සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විදේශගත වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව හිටපු ඇමැතිවරයා විසින් දිගින්දිගටම අවධාරණය කර ඇති අතර, අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ එය ප්‍රමාද කළ යුතු බවය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නැති අතර, ඔහු සියලු‍ රාජ්‍ය ආයතන අධීක්ෂණය කිරීම යුද හමුදා නිලධාරීන්ට භාර දිය යුතු ය යන ස්ථාවරයේ සිටින බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ තර්කය වී ඇත්තේ, පළාත් සභාවල බලය ලබාගෙන රාජ්‍ය යන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවය.

අදාළ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, පළාත් සභා මැතිවරණයෙන් පසු පළාත් සභා විෂය ද ඇතුළුව තීරණාත්මක විෂය ක්ෂේත්‍ර කිහිපයක් භාර කැබිනට් ඇමැතිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත් වීමට හිටපු ඇමැතිවරයා අපේක්ෂාවෙන් සිටින බවයි.

ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවැති සංවාදවල දී පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳ මතය ජයග්‍රහණය කිරීම නිසා බැසිල් රාජපක්ෂ අදාළ තීරණය ගෙන ඇත.

ආණ්ඩුවේ ප්‍රධානීන්ට ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අනවශ්‍ය බව පවසා ඇති හිටපු ඇමැතිවරයා, විවිධ ප්‍රදේශවලට ගොස් ජනතාව හමුවීම මඟින් එය කළ නොහැකි බව ද අවධාරණය කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් දිගින්දිගටම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමට කටයුතු කළ අතර, ඔවුන් විසින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ද අදහස් පළ කර තිබිණි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය දිනවල පවසා තිබුණේ, ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවක් සඳහා හෝ අවස්ථාවක් ලබා නොදෙන බවත්, පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට බරපතළ අසාධාරණ සිදු වන බවත්ය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, ඉදිරි සති කිහිපයේ දී පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර පසුගිය 30 දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ, පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවැති පළාත් සභා යළි සක්‍රිය කිරීමේ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමටය.

එවැනි යෝජනාවකට අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ද එකඟතාවක් ලැබී ඇතැයි සඳහන් කරන අදාළ ආරංචිමාර්ග, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ මතයට විරුද්ධ මතයක මේ සියලු‍ කණ්ඩායම් සිටින බව ද පෙන්වා දෙයි.

උපුටා ගැනීම ලංකා පුවත්පත