ඉස්ලාම් අන්තවාදීන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි කියලා දිගු කලක පටන් මට තේරුම් ගිහින් තිබුණේ

221

සිය ධූර කාලය තුළ ඉස්ලාම් අන්තවාදීන් විසින් යම් කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි තමන්ට දීර්ඝ කාලයක සිට තේරුම් ගොස් තිබූ බවත් මෙරට ජනතාව ඉලක්ක කර ගෙන නොවුණද යම් කිසි විදේශීය තානාපති කාර්යාලයක් හෝ ⁣වැදගත් ස්ථානයක් ඉලක්ක කර එම ප්‍රහාරය දියත් කිරීමේ හැකියාවක් තිබූ බවට හැඟී ගොස් තිබූ බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

කෙසේ වෙතත්, සෑම අයකුම සිය කාමරවලට වී ලියුම් යැව්වා හැරෙන්නට නිසි ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීම හේතුවෙන්, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම පසුගිය ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත ස්ථීර වශයෙන්ම පැවැරෙන බවද හිටපු අගමැතිවරයා කීවේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දෙවැනි දිනටත් පෙරේදා (13දා) සාක්ෂි දෙමින් හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන් ම, සිය පාලන කාලය තුළ රටේ ජාතික ආරක්ෂාව බිඳවැටීමක් නැතහොත් කඩාවැටීමක් සිදුවූ බවද හිටපු අගමැතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය.

තවද 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2019 වසර දක්වා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස සෘජු සම්බන්ධයක් නොතිබූ බවද සඳහන් කළ හිටපු අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා ලෙස පත්වූදා සිට අඛණ්ඩව සහභාගි නොවූ බවද මෙහිදී කොමිසම පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් කොමිසම වෙනුවෙන් සාක්ෂි විමසන රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් මෙලෙස සාක්ෂි විමසීම් කළාය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- හිටපු අගමැතිතුමා. ඔබතුමා ධූරයට පත්වූදා සිට ජාතික ආරක්ෂක කවුන්සිලය නිතිපතා පැවැත්වුණාද?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. 2015 වසරට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස්වුණා. නමුත් 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව එය කිසිදු අවස්ථාවක සතිපතා අඛණ්ඩව පවත්වලා නෑ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- අඛණ්ඩව පැවැත්වුණේ නෑ කියලා ඔබතුමා කියනවා නම් පැවැත්වුණු දිනවල මේ රැස්වීම්වලට ඔබතුමා සහභාගි වුණාද?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- නෑ ස්වාමිනී. සියලුම රැස්වීම්වලට සහභාගි වෙන්න බැරිවුණු අවස්ථා තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- ඇයි එහෙම මේ ජාතික ආරක්ෂාව ගැන වැදගත්ම රැස්වීමට ඔබතුමා අඛණ්ඩව සහභාගි නොවුණේ?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. විශේෂයෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලය හදිසියේ කැඳවීම නිසා ඒ වෙනුවෙන් කාලය වෙන් කරවා ගැනීමේදී යම් යම් අපහසුතා ඇති වුණා. මොකද කලින් යොදාගත්ත වැඩකටයුතු තියෙද්දී හදිසි කැඳවීමක් කරාම සහභාගි වෙන්න අපහසුයි. මොකද පැය 24කට කලින් හදිස්සියේ මෙහෙම රැස්වීම් කැඳෙව්වාම සහභාගි වෙන්න අපහසුයිනේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- ඔබ ඉතින් මේ ගැටලුව ගැන හිටපු ජනාධිපතිවරයාට දැන්නුවේ නැද්ද හිටපු අගමැතිතුමා?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- දැනුම් දීම් නම් ඇති තරම් කළා ස්වාමිනී. ඒත් වැඩක් වුණේ නෑ. මම කිව්වා මේ රැස්වීම සතියේ නිශ්චිත දිනයක අඛණ්ඩව සතිපතා පවත්වන්න ඕනි කියලත්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- එතකොට එතුමා මොනවද කිව්වේ?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ඒ වෙලාවල්වල එතුමා කිව්වා බුද්ධි අංශවලින් වාර්තා කරන කරුණු අනුව තමයි රැස්වීම පවත්වන්නේ කියලා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- හිටපු අගමැතිතුමා. ජාතික ආරක්ෂක කවුන්සිලයට අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක වැඩ බැලීමට හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා වූ කරුණු මොනවාද කියලා අග්‍රාමාත්‍යවරයා දැනුවත්ව තිබිය යුතුයි කියලා මම හිතනවා.

කොමිසමේ සාමාජික විනිසුරුවරයා :- හිටපු අගමැතිතුමා. ඔබ ඇතැම් ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට සහභාගි වුණා කියලා. මේ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළා. ඔබතුමා සහභාගි වුණා කිව්ව මේ රැස්වීම්වලදී ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් වන කරුණු ගැන සාකච්ඡා වුණාද?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. ඉස්ලාම් අන්තවාදය ගැන පමණක් නෙමේ අනෙකුත් ආගම්වල අන්තවාදී කටයුතු ගැනත් තොරතුරු වාර්තා වුණා. ඒ කරුණු ගැන සාකච්ඡාත් කළා.

කොමිසමේ සාමාජික විනිසුරුවරයා :- මොනවද ඔය වාර්තා වුණු තොරතුරු හිටපු අගමැතිතුමා?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- කාත්තන්කුඩිය සිට කල්මුණේ දක්වා වන ප්‍රදේශයේ තමයි වැඩි වශයෙන් අන්තවාදී කටයුතු සිදුවන බවට වාර්තා වුණේ.

⁣කොමිසමේ සාමාජික විනිසුරුවරයා :- ඉතින් මෙවැනි අන්තවාදී ක්‍රියා ගැන වාර්තා වෙද්දි ඔබතුමාලා මොනවද ගත්ත පියවර?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- රජයක් විධියට අපි සෑම අවස්ථාවකම උපදෙස් දුන්නා සාම්ප්‍රාදායික මුස්ලිම්වරුන් ආරක්ෂා කරන්න සහ අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්න කියලා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා :- පියවර ගන්න කිව්වත් 2017 මාර්තු මාසයේ කාත්තන්කුඩිය අල්ලියාර් මංසන්ධියේදී ඇතිවුණු ගැටුමකට අදාළව සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්න පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් බැරිවුණා නේද හිටපු අගමැතිතුමා?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්න නොහැකි වුණේ ඒ කාලය වෙද්දී සහරාන් ඉන්දියාවට පලා ගිහින් කියලා තොරතුරු ලැබිලා තිබුණා. ඒකයි ඔහුව අත්අඩංගුවට ගන්න බැරිවුණේ. අපි ආගමික අන්තවාදය පිළිබඳව හොයන්න වෙනම ඒකකයකුත් ආරම්භ කළා. ඒ වගේම සහරාන් සිටින ස්ථාන සහ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවල නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගන්න කියලත් මම ආරක්ෂක අංශවලට දන්වලා තිබුණා. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව තමයි දැනගත්තේ සහරාන් ඉඳලා තියෙන්නේ ලංකාවේ කියලා. ඒ විතරක් නෙමේ ස්වාමිනී. මම ඉස්ලාම් අන්තවාදය ඉදිරියේදී විශාල තර්ජනයක් විය හැකියි කියලා එවකට හිටියි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක සමඟත් සාකච්ඡා කළා.

කොමිසමේ සාමාජික විනිසුරුවරයා :- කොහොමද ඔබතුමාට ඉස්ලාම් අන්තවාදය ඉදිරියේදී තර්ජනයක් වෙයි කියලා දැනිලා තිබුණේ?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. ඉස්ලාම් රාජ්‍ය මතවාදය බොහෝ සෙයින් ව්‍යාප්ත වෙමින් තිබුණේ අන්තර්ජාලය හරහා. ඒ ගැන විවිධ තොරතුරු ලැබිලා තිබුණා. ඉතින් මගේ ධුර කාලය තුළ ඉස්ලාම් අන්තවාදීන් යම් කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරයි කියලා මට දැනිලා තිබුණා දීර්ඝ කාලයක ඉඳන්. අපේ ජනතාව ඉලක්ක කර ගෙන නොවුණත් යම් කිසි විදේශීය තානාපති කාර්යාලයක් හෝ වැදගත් ස්ථානයක් ඉලක්ක කර එම ප්‍රහාරය දියත් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මට දැනිලා තිබුණා. ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටලා තිබුණෙත් අරලියගහ මන්දිරය ළඟ. ඒකට ප්‍රහාරයක් එල්ලකළා නම් අපිටත් වඳිනවා.

කොමිසමේ සාමාජික විනිසුරුවරයා :- ප්‍රහාරයක් එල්ලවෙයි කියලා ඔබතුමාටත් දැනිලා තිබුණා කියලා ඔබතුමාම කියනවා. ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගැහැවා නම් අරලියගහ මන්දිටෙත් වඳින්න තිබුණා කියලා ඔබතුමා කියනවා. ප්‍රහාරයක් වෙයි කියලා දැනිලා තිබිලත් ඔබතුමාලා මොනවද කළේ හිටපු අගමැතිතුමා?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- අවශ්‍ය පියවර ගන්න කියලා උපදෙස් දුන්නා ස්වාමිනී. ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන පුද්ගලයෙක් නම් කිසිදු ජාති, ආගම්, භේදයකින් තොරව අත්අඩංගුවට ගත යුතුව තිබුණා. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ නිසා ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දීලා කෙටුම්පත් පවා සකස් කළා. නමුත් විවිධ ගැටලු නිසා ඒකත් ක්‍රියාත්මක කරන්න බැරිවුණා.

කොමිසමේ සාමාජික විනිසුරුවරයා :- ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න, ත්‍රස්ත කල්ලි මර්දනය කරන්න කියලා උපදෙස් දීලා, විවිධ අණ පනත් ගෙනත් කටයුතු කරපු නිසාද ඔබතුමාලා ඒ කාලේ වත්මන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි ඉස්ලාම් අන්තවාදය ගැන අදහස් දක්වද්දී ගණනකට නොගෙන ඒ දේවල්වලට විරුද්ධ වුණේ?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- මම එහෙම විරුද්ධ වුණේ නෑ ස්වාමිනී. බි්‍රගේඩියර් සුරේශ් සලෙයි හොඳ නිලධාරියෙක්. නමුත් සලෙයි මහත්මයා ගැන සහ ඔහු ඉදිරිපත් කරපු කරුණු ගැන මට විවෘතව කතා කරන්න බෑ. කරුණු කිහිපයක් තියෙනවා. මාධ්‍ය නැතිව මම ඒ කරුණු කියන්නම්.

ඒ අනුව හිටපු අගමැතිවරයා මාධ්‍ය නොමැතිව සාක්ෂි දීමට කළ එම ඉල්ලීමට කොමිසමේ සභාපති විනිසුරුවරයා අවසර දුන් අතර ඒ අනුව, මාධ්‍යවේදීන් කොමිෂන් ශාලාවෙන් ඉවත්ව ගිය පසු හිටපු අගමැතිවරයා වැඩිදුර සාක්ෂිදීම සිදු කළේය. අනතුරු නැවතත් මඳ වේලාවකට පසුව කොමිසමේ සභාපති විනිසුරුවරයා කළ කැඳවීම මත නැවත වරක් මාධ්‍යවේදීන් කොමිෂන් ශාලාව වෙත පැමිණි අතර කොමිසම වෙනුවෙන් සාක්ෂි විමසන අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළිත් හිටපු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීම මෙලෙස ආරම්භ කළාය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- හිටපු අගමැතිතුමා. ඉස්ලාම් රාජ්‍ය සංවිධානය මෙරට තහනම් කිරීම සඳහා ඔබගේ නායකත්වයෙන් යුතු රජය පියවර නොගත්තේ ඇයි?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- ස්වාමිනී. මේ සංවිධානය මෙරට ක්‍රියාත්මක වන බවට නිශ්චිත තොරතුරු වාර්තාවෙලා තිබුණේ නෑ. එහෙම තොරතුරු තිබුණා නම් අවම වශයෙන් විවාදයක් හෝ පවත්වන්න තිබුණා. අනෙක් එක 2018 වසරේ දෙසැම්බර් මස මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී බුදු පිළිම කිහිපයකට අලාභ හානි කිරීම සහ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිදුවීම වැනි සිදුවීම් ගැන විමර්ශන නිසි පරිදි සිදු කරන්න කියලා මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට දැනුම් දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- ඒ අවස්ථාවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් විවෘත විමර්ශන සිදු නොකරන ලෙසට හිටපු ජනාධිපතිතුමා පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිතුමාට දැනුම් දුන්නා කියලා හිටපු පොලිස්පතිවරයා ඔබතුමාට දැනුම් දුන්නාද?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- එවැනි දැනුම්දීමක් නම් හිටපු පොලිස්පතිතුමා මට කරලා නෑ ස්වාමිනී.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :- මොන දේ කිව්වත්, මොන පියවර ගත්තත් දැන් රටේ විශාල ප්‍රහාර මාලාවක් වෙලා ඉවරයි හිටපු අගමැතිතුමා. ලොකු ජීවිත හානියක් සහ දේපල හානියක් සිදුවුණා. ඔබතුමා දැන්වත් පිළිගන්නවාද ඔබතුමාලාගේ ආණ්ඩුව අතින් ලොකු අඩුපාඩුවක් සහ ජාතික ආරක්ෂාව ගැන බරපතළ නොසලකා හැරීමක් කරලා කියලා?

සාක්ෂිකාර හිටපු අගමැතිවරයා :- අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකීම අපේ ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්වලට පැවැරෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ කාමරයේ ඉඳලා ලියුම් යැව්වා. නමුත් නිසි ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක බරපතළ ගැටලුවක්. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන බුද්ධි අංශ වෙත නිශ්චිත තොරතුරු නොලැබීම සහ බුද්ධි අංශවල දුර්වලතාවයකුත් මෙතැනදී පැහැදිලි වෙනවා.

නමුත් මම පිළිගන්නවා අපේ පාලන කාලය තුළ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටීමක් නැතහොත් කඩා වැටීමක් සිදුවුණා කියලා. යැයි හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

කොමිසම යළි අද (15දා) රැස්වේ.

*රුවන්ත නිතුල්ගස්පිටිය